Loading...

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමට හේතුව අනාවරණය වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයකින් බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධව තීරණය කිරීම සඳහා කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිත බවයි.

මේ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

තවද වතිකානයේ සිස්ටන් දෙව් මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායයානුකූලව මුද්‍රා තබා ඇති බව සඳහන්.

මේ අතර ලොව පුරා රටවල් රැසක් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ශෝකය පළකර තිබෙනවා.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඔස්ට්‍රියාවේ දී ඊයේ (21) පස්වරුවේ රටපුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බවද සඳහන් වනවා.

තවද පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණේ විදුලි අලෝකය ඊයේ (21) රාත්‍රියේදී නිවා දමා තිබුණා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

එය සැලකෙන්නේ ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළදී සිදුවන පළමු ජාත්‍යන්තර සංචාරය ලෙසයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාප් වහන්සේගේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් දක්වමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ “ගෝලීය සදාචාරාත්මක පැවැත්මක් උදෙසා මඟ පෙන්වන්නෙකු මෙන්ම, සාමය, යුක්තිය සහ දයානුකම්පාව වෙනුවෙන් ගැඹුරු මෙන්ම ගෞරවනීය හඬක් නැඟූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම මගේ හෘදයාංගම ශෝකය පළ කරමි.
දුප්පතුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් වහන්සේගේ නොසැලෙන මානවවාදී දැක්ම මෙන්ම ගෝලීය එකමුතුකම වෙනුවෙන් වෙහෙස නොබලා දැරූ ප්‍රයත්නය සහ උන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය සියලු ආගම්වලට අයත් මිලියන ගණනකගේ සිත්සතන් ස්පර්ශ කරන්නට සමත් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුවිශේෂි වූ භක්ත්‍යාදරයකින් යුතුව සමරනු ලබයි. 2015 වසරේ ජනවාරි මාසයේදී අප රටෙහි උන් වහන්සේ සිදු කළ ඓතිහාසික සංචාරය, වසර ගණනාවක යුදමය තත්ත්වයකින් පසු අප ජනතාව සුවපත් කළ අධ්‍යාත්මික සුවයේ සහ අන්තර් ආගමික සහයෝගීතාවේ මොහොතක් ලෙසින් අප සැමගේ මතකයේ සදා පවතී. උන් වහන්සේගේ සම්ප්‍රාප්තිය, සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජාවන් අතර සංහිඳියාව සඳහා වූ නව කැඳවුමක් විය.
මිලියන 1.7 කට ආසන්න වන ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමත්හු මෙම කිසිදා පිරවිය නොහැකි වියෝව හමුවේ ශෝක වන ලෝකවාසී කතෝලික බැතිමතුන් සමඟ එක්ව සිටිති. එසේම ආගමික භේදයකින් තොරව සාමය, සහජීවනය සහ මානව ගරුත්වය අගයන සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ මිතුරෙකු ලෙසින්ද, දුෂ්කර සමයන්හි සදාචාරාත්මක මං පෙත් හෙළි කළ මඟපෙන්වන්නෙකු ලෙසින්ද උන් වහන්සේව සදා සිහිපත් කෙරෙනු ඇත. උන් වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ජීවනාදර්ශය අනාගත පරම්පරාවන්ට නව සුසමාදර්ශයක් වනු ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගීය සම්පත්තියට ප්‍රවිෂ්ට වේවා!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 අප්‍රේල් 21 දින”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *