ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ යැයි වසර 7ක සිරදඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලබොඩඇත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබුණා.
සිරදඬුවම් නියම වීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබුණා.
එය විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන් වහන්සේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමි කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෑතකදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එම මහාධිකරණ නියෝගයකට අනුව ඥානසාර හිමි ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළා.
තවද අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණා.
Leave a Reply