විදේශිකයන් මෙරටට පැමිණීමේ දී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අයකළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට ඊයේ (06) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
තවද ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මේ දක්වා නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක වනු ඇති.
මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පුර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බවද රජය අවධාරණය කර තිබෙනවා.
සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින් විදේශිකයෙකු මෙරටට පැමිණීමේ දී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තු ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන මෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලා ඇති බවද එහි දැක්වෙනවා.
එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
Leave a Reply