ශ්‍රී ලංකාව තුල චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුලික අනුමැතිය හිමිව තිබෙනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන්කර ඇති බවයි.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඉන් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවද ඔහු සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,
”තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද සිට ස්ටාර්ලින්ක් ආයතනය සමඟ කටයුතු කරනවා. මෙතෙක් පැවැති කුළුණු මඟින් සීමිත අන්තර්ජාල පහසුකම් වෙනුවට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට එක්වීමට මෙම චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ඔස්සේ හැකියාව තිබෙනවා. මෙමඟින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙමින් පවතිනවා. අධ්‍යාපනය හදාරන දරුවන්ට, පර්යේෂණ කරන විද්වතුන්ට, ධීවර ජනතාවට මෙම අන්තර්ජාල පහසුකම මඟින් විශාල පහසුවක් සැලසෙනවා. වේගවත්ම අන්තර්ජාල පහසුකමක් මෙම තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකියි. ස්ටර්ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. එයට මහජන අදහස් දැක්වීම සඳහා දින14ක් කාලයක් ලබා දී තිබෙනවා. මහජන අදහස් විමසූ පසුව සති දෙකක් කාලයක් තුළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.
විදුලි සංදේශ නියාමන පනතේ 22 වගන්තිය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ ආකාරයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළා. මෙම අන්තර්ජාල සේවාව ලබාගැනිම සඳහා පාසල් දරුවන්ට, ධීවර ජනතාවට හා පර්යේෂකයන්ට සහන පැකේජයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී සැලසුම් සකස් කරනවා.”
Leave a Reply