Loading...

මහනුවර යන අයට විශේෂ දැනුම්දීමක්

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක වනවා.

පොලීසිය පැවසුවේ සැදැහත් ජනතාව පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමඟ නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කර ගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද (17) සිට සීමා කෙරෙන බවයි.

දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පැමිණෙන රථවාහන ගාල් කිරීම විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාලිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර සිරි දළදා වන්දනාවෙන් පසුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා පවසනවා.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ කර එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර ලබන 19 වනදා දින සිට 27 වනදා දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට නියමිතයි.

මෙවර දළදා වන්දනාව සඳහා මිලියන 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරී යෙදවීම සිදුකරනු ලබන අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් 35ක් ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමට නියමිත බවයි.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින්, පොලිස් නිල සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබෙනවා.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණීමේ දී සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මක බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *