භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තබා ගැනීම සහ බන්ධනාගාර පරිශ්‍රයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් දැනට පවතින නීති සහ රෙගුලාසි වහාම සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විත වන බවත්, පවතින නීති අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා කමිටුවට සති දෙකක කාලයක් ලබාදෙන බවත්ය.
අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය සහ ඒ හා බැඳුණු ශාසනික කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට වර්තමාන බන්ධනාගාර පද්ධතිය තවමත් පාලනය වන්නේ 1877 වසරේ සම්මත කරන ලද පැරණි බන්ධනාගාර ආඥා පනත, විෂයභාර අමාත්‍යවරයාගේ රෙගුලාසි සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ නිත්‍ය නියෝග මත බවයි.
එම නීති සම්පූර්ණයෙන්ම සකස් වී ඇත්තේ පොදු සිරකරුවන් කේන්ද්‍ර කරගනිමින් බැවින්, බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින විශේෂ විධිවිධාන ඉතා සීමිත බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
විශේෂයෙන්ම බන්ධනාගාරයෙන් බැහැරට අධිකරණ වෙත හෝ වෙනත් ස්ථාන වෙත රැගෙන යාමේදී භික්ෂූන් වහන්සේලාගේ භික්ෂූත්වයට සහ ශාසනික ගෞරවයට හානි නොවන පරිදි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කළා.
දැනට පවතින පැරණි රෙගුලාසි මත බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති බැවින් නිලධාරීන්ට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා, පවතින නීතිය වර්තමානයට නොගැළපෙන්නේ නම් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වන අභිමතයන් මත නියෝග නිකුත් නොකර නිසි පරිදි නීති සංශෝධනය කළ යුතු බවයි අවධාරණය කළේ.
එමෙන්ම, සකස් කෙරෙන නව රෙගුලාසි සහ සංශෝධන යම් එක් හිමිනමක් ඉලක්ක කරගනිමින් සිදු නොකරන අතර, මහා සංඝරත්නයේ ද උපදෙස් හා අනුශාසනා පරිදි බන්ධනාගාරගත වන සියලු භික්ෂූන් වහන්සේලා උදෙසා පොදුවේ ක්‍රියාත්මක වන පරිදි සම්පාදනය කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply