Loading...

තත්ත්වය සාමාන්‍ය වන තෙක් සෝලා පැනල් ක්‍රියා විරහිත කරන්නැයි තවදුරටත් ඉල්ලයි

උත්සව සමයේ දී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණ කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ මේ අනුව නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් සම්බන්ධව සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව අදාළ කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ බවයි.

ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරූප ලෙස සමාන විය යුතු බව පෙන්වා දෙන එම මණ්ඩලය පවසන්නේ විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවක විදුලි නිෂ්පාදනය ද අඩු කළ යුතු බවයි.

තවද ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩුකළ යුතු බවද විදුලිබල මණ්ඩලය මෙම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවැති අතර කිලෝවොට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනලවල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත බවයි.

ඊට අමතරව විදුලි ඉල්ලුම අඩු අවස්ථාවල දී නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යාන්ත්‍රයක් ද අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12වන දින පෙරවරුවේ නතර කළ බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.

මේ අනුව දැනට ඉන්ධන මඟින් විදුලිය උත්පාදන කරන කිසිඳු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබාදී විදුලි උත්පාදනය කටයුතු සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

විදුලි ඉල්ලුම තවදුරටත් පහළ යාම හේතුවෙන් වහළ මත සුර්ය බලශක්ති ඒකක හිමිකරුවන්ට ද දිවා කාලයේ දී සුර්ය පැනල ක්‍රියාකාරීත්වය නතර කරන ලෙස අප්‍රේල් මස 13 වන දින දැනුම් දීමක් සිදුකළ අතර පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට එය විශාල පිටුවහලක් වූ බව ඔවුන් සඳහන් කරනවා.

විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම නිසා විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම් දීම් වලට අනුව වහල මත සුර්ය බල ශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබා දෙන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *