Loading...

සාද සහ විවාහ උත්සවවල කර්තෘභාග බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අත්හිටුවයි

පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට සහ සංගීත අධ්‍යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන විධායක රංග දසනායක මහතා සඳහන් කළේ, එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන මහා සභා රැස්වීම තෙක් අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.

යෝජිත ගැසට් පත්‍රයට අනුව එවැනි උත්සව සඳහා භාවිත කරන සංගීත නිර්මාණවලට අදාළ කර්තෘභාගය ගෙවීම සහ බලපත්‍ර ලබාගැනීම උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන අතර, ලෝකයේ වෙනත් රටවලද මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර, අදාළ ගැසට් පත්‍රය මුල් කරගනිමින් සමාජගත කර ඇති චෝදනා අභූත බව සඳහන් කළ එම සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් මහතා, මෙය කිසිසේත්ම රජය අයකරන බද්දක් නොවන අතර නිර්මාණකරුවන් වෙනුවෙන් අයකර ගන්නා කර්තෘභාගය ඒ සාමාජිකයන් වෙතම ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කළා.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක මහතා පෙන්වා දුන්නේ, තම සංගමය මෙලෙස පෙනී සිටින්නේ ගීතයක මුල් අයිතිකරුවන් වන ගේය කාව්‍ය රචකයාගේ සහ සංගීත අධ්‍යක්ෂවරයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *