හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ අසනීප වී රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් අංශ මගින් පැතිර යවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර සිදුකිරීම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල පෞරුෂය කිසිසේත්ම බිඳ දැමිය නොහැකි බවයි.
දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරමින්, වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ මහින්ද රාජපක්ෂ මහතා දුර්වල වී ඇති බව පෙන්වීමට අසාර්ථක උත්සාහයක නිරත වන බව ද ඔහු පෙන්වා දුන්නා.
එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සංසරණය වන මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුලු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි ඒ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිය නිල නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව මෙන්ම මානසිකව ද ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව නීතිඥ මනෝඡ් ගමගේ මහතා වැඩිදුරටත් තහවුරු කර සිටිනවා.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා.
මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය, අදූෂමාන, ද්වේශසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින් උත්සාහ කරනවා, මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලයි කියලා පෙන්නන්න.
නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම ශාරීරිකව සහ මානසිකව ඉතාම ශක්තිමත් නායකයෙක්. මම හිතන්නේ මේ පුහු දේවල් වලින්, මේ බොරු දේවල් වලින් එතුමාගේ වැනි දැවැන්ත පෞරුෂයක් වට්ටන්න හිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහට තමයි මම දකින්නේ.
ඉතින් ඒ නිසා මම කරුණාවෙන් දැනුම් දෙනවා, එතුමාට ආදරය කරන සියලුම ජනතාවට, මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකවෙන්ම, මානසිකව ඉතාමත් හොඳ සුවයෙන් එතුමාගේ නිවසේ කල්ගත කරනවා කියලා පණිවිඩය මම සියලුම එතුමාට ආදරය කරන ජනතාවටත්, ඒ වගේම එතුමා පිළිබඳව බොරු අසත්‍ය ප්‍රචාරය කරගෙන යන අයටත් දැනුම් දෙනවා.”
කෙසේ වෙතත් මෙරට ඇතැම් මාධ්‍ය සහ මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන රෝහල් ගත කර ඇති බවයි.
අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) වෙත ඇතුළත් කර ඇති බව එම වාර්තා සඳහන් කළා.
එම වාර්තා පැවසුවේ කිරුළපන පිහිටි ඒ මහතාගේ නිල නිවසේ රැඳී සිටියදී මෙලෙස හදිසියේ අසනීප වී ඇති බවයි.
මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් හිටපු ජනාධිපතිවරයා වෙත හදිසි සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ද මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දී ඇති බව ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.







Leave a Reply