Loading...

පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝගය

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නීතිඥ එස්. ඒ. පී. උදයංගනී මහත්මිය වහා මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලාෆර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙලෙස මුදා හරින ලෙස නියම කළ නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියචනාධීකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වනවා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පසුගිය 28 වනදා ඇප අයදුම්පතක් පිළිබඳව පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි එස්.ඒ. පී. උදයංගනී නැමැති නීතිඥවරිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව විනිසුරුවරිය විසින් ඇය ඇපමත මුදා හළ බවට දැනගන්නට ඇති බවද පෙත්සම්කරු පැවසුවා.

පෙත්සමෙන් පෙන්වා තිබුණේ නමුත් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් පවතින බව පෙන්වා දුන් පෙත්සම්කරු අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේ දී මහාධිකරණ විනිසුරු විසින් එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බවද සඳහන් කළා.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ මේ අනුව මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති එම නීතිඥවරිය නිදහස් කරන ලෙස වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *