විදුලිබිල 20%ත් 30% අතර ගණනකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 9ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේ දී යෝජනා වී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ සම්බන්ධව කොමිසමේ අවසන් තීරණය මේ සතියේ දී ප්‍රකාශ කරන බවයි.
විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව මහජන අදහස් විමසීම පසුගිය 10 වනදා අවසන් වුණා.
මෙහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසකගෙන් අදහස් ලබාගෙන තිබුණා.
2025 වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය 06 වනදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීමක් සිදුකළ අතර එහිදී ඔවුන් දැනුම් දී තිබුණේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවයි.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම දෙසැම්බර් 17 වනදා ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඔවුන් අවධාරණය කර තිබුණේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පවතින අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් විදුලි ගාස්තුව සියයට 11ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවයි.
ඉන්ධන මිලදී ගැනීමේදී සාධාරණ පිරිවැයක් මත එම කටයුතු සිදු කරනු ලබනවා නම් ඉන් රුපියල් බිලියන 28ක මුදලක් ඉතිරි කරගත හැකි බවද එම කොමිසම සඳහන් කර තිබුණා.
Leave a Reply