ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඇතිවූ තත්ත්වය හමුවේ, පෞද්ගලික ඉන්ධන බෙදාහරින සමාගම් මඟින් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති අතර, නියමිත ඉන්ධන තොග අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස එම සමාගම් වෙත අවස්ථා ගණනාවකදී දැනුම්දීම් සිදුකළ ද, ඇතැම් ආයතන එය නිසි ලෙස අනුගමනය කරන බවක් දක්නට නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත්, හටගෙන ඇති මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ඉන්ධන සමාගම්වල නියෝජිතයින් සමඟ එළඹෙන අනිද්දා (07) තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
මේ අතර, පෞද්ගලික සමාගම් මෙලෙස ඉන්ධන සපයීම සීමා කළ ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් හරහා කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසන්නේ.







Leave a Reply