Loading...

වැටුප් නඩුවේදී ජනපතිගේ සහය වතු කම්කරුවන්ට

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ හිදමින් සහාය දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

වතු හාම්පුතුන් පවරන්නට යන බවට පැවසෙන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසට ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය මනුෂනානායක්කාර මහතා ඇතුළු බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කළ බවට ජනාධිපතිවරයා කොටගල පැවැති මැයි දින රැලියේ දී ප්‍රකාශයට පත් කළ අතර අදාළ වැටුප වැඩිවෙන ආකාරය පිළිබඳව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය කියා සිටියේ වතු සමාගම් සමඟ කිසිඳු සාකච්ඡාවක් නොකර මෙම වැටුප් වැඩි වීම සිදුකර ඇති බැවින් තමන් ඒ සම්බන්ධව අධිකරණය හමුවට යන බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කරන අවස්ථාවේදී තම සංගමය වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබූ බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *