රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මරණිය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරණයට ලිපියකින් දැනුම් දී සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මේ බව ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ධීවර රාජ්‍ය අමාත්‍යවරයා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණිය තර්ජනය කරන බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
ඔහු ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පෙන්වා දී ඇත්තේ ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක තිබියදී තමා සභාපති ධුරය භාරගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා එම ආයතනයට සේවකයන් 20 දෙනෙක් අලුත් පත්වීම් ලබාදුන් බවත්ය.
අමාත්‍යවරයා සිය ආසනයේ ඡන්ද දායකයන්ට බෙදා දීමට බව පවසමින් රුපියල් 10000ක් වටිනා බඩු මල්ලක් ඉල්ලා සිට ඇති අතර ඇතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද ඒ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබෙනවා.
තවද අලුත් සේවකයන්ට අමාත්‍යාංශයේ වැටුප් ගෙවන ලෙස අමාත්‍යවරයා තමාට බලපෑම් කරන බවද ඔහුගේ ලිපියේ සඳහන්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම තර්ජනය හේතුවෙන් තමා බලවත් චිත්ත පිඩාවකින් පත්ව රාජකාරි කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවත් එම නිසා තමා ධුරයේ ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවත් සී-නෝර් පදනමේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.
තමන් සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබු රුපියල් කෝටි 5ක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්කළ බවද සී-නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබාගත් බවද ඔහු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
ඔහු එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවයි.
කෙසේ වෙතත් සී-නෝර් පදනමේ සභාපතිවරයාගේ චෝදනා සම්බන්ධව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
තමන් වෙත ලබාදෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටු කරන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමඟ තමන්ට කිසිඳු ගැටළුවක් නොමැති බවද සඳහන් කරනවා.
Leave a Reply