සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වන විට සහල් මෙට්‍රික්ටොන් 50000ක් සමුපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.
ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් සංචිත පිළිබඳව ඇති වාර්තා සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින සහල් මාෆියාව බිඳ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසුවා.
“අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සහල් ආනයනය කරන්න තීරණය කළා.
මේක දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ඒකාධිකාරියකට අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට පාලනය කරගැනීම සඳහා මෙවලමක් නැති නිසා. අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. නමුත් යම් කාලයක් යයි.”
Leave a Reply