Loading...

ජනපති අනුරගේ ජන්ම දිනය අදයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අද (24) දිනයට යෙදී තිබෙනවා.

1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබූ ඒ මහතා මේ වන විට 56 වියේ පසුවෙනවා.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව ඔහු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවා.

1992 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.

1987 වසරේ දී එවක පැවැති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ගොඩනැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරියෙක් බවට පත් වුණා.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක්වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවූ 1993 කාලවකවානුවෙන් පසු නැවත ක්‍රියාකාරී දේශපාලනය පිවිසෙන ඒ මහතා 1997 වසරේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබුවා.

1997 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ ඔහු 1998 වසරේ දී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබෙනවා.

199 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරඟ වදිමින් ඒ මහතා පළමු වරට දේශපාලනයට පිවිසි අතර 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා.

2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද ගණනකින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවා.

2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2014 වසරේ පෙබරවාරි මස 2 වනදා ජනතා විමුක්ති පෙරමුණේ 07 වන ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ ඔහු 2015 වසරේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට සමත් වුණා.

2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එකතු කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.

මේ වසරේ සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරයා බවට තේරී පත් වූ ඔහු මෙරට 09 වන විධායක ජනාධිපතිවරයාද වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *