Loading...

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව ජනපති අනුර මහත් හරසරින් පිළිගනී – VIDEO

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මෝදී මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනවා.

නරේන්ද්‍ර මෝදී මහතා ඊයේ (04) රාත්‍රී 8.30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියා.

දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන අතර ඔහු සමඟ එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිසක්ද දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම උත්සවයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

ඉන්පසු දෙරට අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තැබීමට නියමිත බව වාර්තා වනවා.

ඊට අමතරව මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිතයි.

ඉන්දීය සහයෝගයෙන් ඉදි කෙරෙන සාම්පුර් සුර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනු ඇති.

තවද මෙරට ආගමික ස්ථාන 5000ක වහල මත සවි කෙරුණු සුර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමට ද නියමිතයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අතින් විවෘත කිරීමට නියමිත අතර එහි ධාරිතාවය මෙට්‍රික් ටොන් 5000කි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 06 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *