පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
අද (03) පෙරවරු 09.30ට පාර්ලිමේන්තු රැස්වෙන අතර මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිත බව සඳහන්.
අදාළ විවාදය අද (03) සහ හෙට (04) යන දෙදින තුළ පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට (04) පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ.
මේ අතර මෙම සතිය තුළ පාර්ලිමේන්තු ලබන 06 වන දින දක්වා පැවැත්වෙන අතර 2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.
තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම ද අද (03) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබෙනවා.
විපක්ෂය නියෝජනය කරන පක්ෂ වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් අදාළ පත්කිරීම සදහා එකගතාව පළකර ඇති බව සදහන්.
මීට පෙර අවස්ථා දෙකක දී ද ඒ මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබෙනවා.
Leave a Reply