ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර තීරණාත්මක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට (Staff-Level Agreement) එළැඹ තිබෙනවා.
මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හිමිකම් ලැබෙනු ඇති.
ඒ අනුව, මෙම සමස්ත වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් හිමිවූ සමස්ත ජාත්‍යන්තර මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දැවැන්ත මට්ටමක් දක්වා ඉහළ යනවා.
කෙසේ වෙතත්, මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට පෙර, 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අනිවාර්ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ආර්ථික කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රබල ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.
ඒ අනුව 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එය අඛණ්ඩව ධන වර්ධනයක් සටහන් කළ 11 වැනි කාර්තුව වීම විශේෂත්වයක්.
එමෙන්ම 2026 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක තනි ඉලක්කම් මට්ටමක පවත්වා ගැනීමට හැකිවී ඇති අතර, අගෝස්තු අවසානය වනවිට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මැද පෙරදිග පවතින දැඩි යුදමය වාතාවරණය, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිමය වෙනස්වීම් සහ එල්නිනෝ කාලගුණික බලපෑම් හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි ලෙස අනතුරු අඟවන්නේ.
විශේෂයෙන්ම මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව ඇදී යන්නේ නම්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන සහ බලශක්ති මිලගණන් ද පිරිවැය ආවරණය වන පරිදි සංශෝධනය කිරීමට ඉඩ දිය යුතු බවත්, එහිදී අඩු ආදායම්ලාභී ජනතාව ඉලක්කගත සහන මගින් ආරක්ෂා කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති දීර්ඝ මාර්ගගත සාකච්ඡාවලින් අනතුරුවයි මෙම තීරණාත්මක එකඟතාවකට පැමිණ ඇත්තේ.







Leave a Reply