Loading...

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව කෝට්ටේ මහා සංඝ සභාවෙන් බන්ධනාගාරයට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පරාජික වූ භික්ෂුවක් ලෙස හෝ උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ විනය විරෝධී කරුණක් සිය සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත හදිසි ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට බන්ධනාගාරය තුළදී ද සිවුර පිටින්ම පෙනී සිටීමට වහාම අවස්ථාව සලසා දෙන ලෙසයි.

අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව සිය සංඝ සභාවේ කිසිදු විරෝධයක් නොමැති බව සඳහන් කරන උන්වහන්සේ, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ජම්පරය ලබාදීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා කෙරෙහි සිය සංඝ සභාවේ දැඩි අවධානය යොමුව ඇති බව ද පෙන්වා දෙනවා.

ශාසනික වශයෙන් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා උන්වහන්සේගේ සිවුර ඉවත් කරන්නේද නැතහොත් සිවුර තබා ගැනීමට ඉඩ හරින්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ වගකීම සහ අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් බවයි අනුනායක හිමියන් අදාළ ලිපිය මගින් වැඩිදුරටත් දැඩි ලෙස අවධාරණය කර සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *