‘සිරිලිය සවිය’ අරමුදල් ගිණුම හරහා සිදුවූ බව කියන රුපියල් කෝටි ගණනක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ කළු සල්ලි සුදු කිරීමේ (Money Laundering) ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) පස්වරුවේ නියෝග කළා.
අද පෙරවරුවේ මෙම ආන්දෝලනාත්මක නීති කෘත්‍යය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ තදින්ම කියා සිටියේ, සිය සේවාදායිකාවගේ හෘදයේ රුධිර වාහිනී 03ක් අවහිර වී ඇති අතර, ඇයට අද දිනයේ කොළඹ ජාතික රෝහලේදී ‘විවෘත හෘද සැත්කමක්’ (Open-Heart Surgery) සිදුකරමින් පවතින බැවින් එම සුවිශේෂී තත්ත්වය සලකා බලා ඇයට වහාම ඇප ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ප්‍රකාශයට දැඩි ලෙස අභියෝග කරමින් කියා සිටියේ එවැනි ශල්‍යකර්මයක් ගැන බන්ධනාගාරයට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.
ඒ අනුව, සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ විශේෂ නියෝගයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කැඳවන ලද පිටු 03කින් යුත් නිල වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වූයේ, විත්තියේ නීතිඥවරුන් පැවසූ පරිදි කිසිදු විවෘත හෘද සැත්කමක් සිදුකිරීමක් හෝ ශල්‍යකර්මයක් සඳහා සැලසුම් කිරීමක් සිදුව නොමැති බවත්, ඇය වෙත සිදු කර ඇත්තේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් (Angiogram) පමණක් බවත්ය!
‘සිරිලිය සවිය’ යනු කළු සල්ලි සුදු කළ නීති විරෝධී ජාවාරමක්! – අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් හෙළිදරව් රැසක්!
විමර්ශන ප්‍රගතිය අධිකරණය හමුවේ තබමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ යෂ්මදා ලොකුනාරංගොඩ මහත්මිය හෙළිදරව් කළේ ‘සිරිලිය සවිය’ යනු රාජ්‍ය බලය අවභාවිත කරමින් සිදුකරන ලද දැවැන්ත මූල්‍ය වංචාවක් බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:
“ස්වාමිනි, මේ විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට අනුව, මේ සිදුවීම වන අවස්ථාව වන විට ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් හෝ MRI යන්ත්‍රයක් අවශ්‍ය බවට රෝහල් පාර්ශ්වයෙන් කිසිදු ඉල්ලීමක් කර නැහැ. මොකද ඒ වෙන විටත් ළමා රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තිබිලා තියෙනවා.
එහෙම තත්ත්වයකයි 2010 දෙසැම්බර් 08 වැනිදා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි කියමින් ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාව ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් (NSB) මුදල් ඉල්ලීමක් කරන්නේ. පළමුව ඒ සඳහා රුපියල් මිලියන 140ක් ඉල්ලා පසුව එය රුපියල් මිලියන 50 දක්වා අඩු වෙනවා. ඒ අනුවයි එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම්ගේ ආධාර අනුබලදීම මත අදාළ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ලබාදෙන්න එකඟ වෙන්නේ. මේ මුදල සෘජුවම බැරවෙලා තියෙන්නේ ‘සිරිලිය සවිය’ නැමැති ගිණුමට.
තවත් විශේෂිත කරුණක් නම්, 2014 වසරේ චීන රජයෙන් පරිත්‍යාගයක් විදිහට අපේ රටට MRI යන්ත්‍රයක් ලැබෙනවා. එම යන්ත්‍රය ළමා රෝහලට ලබාදීම සිදුකරන්නේ අර කියන ‘සිරිලිය සවිය’ සංවිධානය සිදුකරන පරිත්‍යාගයක් ලෙසයි. ඒක වෙන්නෙත් සැකකාර ශිරන්ති රාජපක්ෂගේ එක පුතෙකුගේ උපන් දිනය දවසේ. ඊට ප්‍රදීප් කාරියවසම්ටත් ආරාධනා කරලා තිබෙනවා. නමුත් ස්වාමිනි මේ සියල්ල සිද්ධවෙන්නේ අර ප්‍රශ්නගත මිලියන 10ක මුදල ‘සිරිලිය සවිය’ ගිණුමේම තියෙද්දියි.”
තවදුරටත් කරුණු දැක්වූ පැමිණිල්ල පෙන්වා දුන්නේ මෙම සංවිධානය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ එකක් බවත්, රාජ්‍ය ලාංජනය සහ ජනාධිපති කාර්යාලයේ ලිපිනය නීති විරෝධී ලෙස භාවිත කර ඇති බවත්ය.
“ස්වාමිනි, මේ ගිණුමට මුදල් එකතු කරන්න යවපු ලිපි සඳහා මේ සැකකාරිය රාජ්‍ය ලාංජනය යොදා ලිපි ශීර්ෂයක් පවා හදලා තියෙනවා. රජයේ තනතුරක් නොදරන තැනැත්තියක් කොහොමද රාජ්‍ය ලාංජනය සහ ජනාධිපති කාර්යාලයේ ලිපිනය භාවිත කරන්නේ? සරළව කිව්වොත් ස්වාමිනි, ‘සිරිලිය සවිය’ කියන්නේ කළු සල්ලි සුදු කිරීමේ (Money Laundering) ක්‍රමවේදයක්. අපි මේ ගැන වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් ඇප ලබාදීමට තදින්ම විරුද්ධයි.”
අධිකරණය හමුවේ නීතිඥවරුන් අතර උණුසුම් සංවාදයක්!
විත්තියේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා “මැරිලා ගියත් රිමාන්ඩ් එකේ තියන්නද කියන්නේ?” යැයි ආවේගශීලීව විමසූ අතර, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතිඥවරයාට සිහිපත් කළේ ආවේගශීලී නොවී කරුණු දක්වන ලෙසයි. පසුව තමන් සිදුකළ ප්‍රකාශය “විවෘත හෘද සැත්කමකට භාජනය වීමට නියමිතයි” ලෙස සංශෝධනය කිරීමට ද විත්තියේ නීතිඥවරයාට සිදු විය.
ඉදිරිපත් වූ සියලු කරුණු සහ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගේ වෛද්‍ය වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකාරියට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා ප්‍රතිකාර ලැබෙන බැවින් සහ රෝහලෙන් පිටතට ගෙන යා නොහැකි බවට වාර්තා වී ඇති බැවින් මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නඩුව ලබන ඔක්තෝබර් 16 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළා.








Leave a Reply