Loading...

,

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි

ඉරාන යුද නෞකා දෙකක සිද්ධිය සමඟ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ අර්බුද රැසක පැටලී ඇති බව වාර්තා වනවා.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට සොයාගෙන ඇති ඉරාන නෞකාව රැගෙන ඒම සහ එහි නාවිකයන්ට රැකවරණය සැලසීම පිළිබඳව විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සමුද්‍ර නීති සහ අනෙක් ජාත්‍යන්තර නීති ප්‍රඥප්ති අධ්‍යයනය කරගෙන යන බවයි.

අදාළ අධ්‍යයන කටයුතුවල ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ කණ්ඩායමක් නිරත වන බව සඳහන්.

ඉරාන නෞකා දෙකේ සිට ජීවිත ආරක්ෂාව සඳහා ගොඩබිමට රැගෙන එන ලද නාවිකයන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීමට ද රජයට ලොකු අභියෝගයක් වී ඇති බවද තොරතුරු වාර්තා වනවා.

තවද කොළඹට ඈත මුහුදේ දී සොයා ගනු ලැබූ ඉරාන නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒම සහ එයට ආරක්ෂාව සැපයීම ද රජය තවත් ලොකු අභියෝගයක් වී තිබෙනවා.

පාර්ශවයන් දෙකක් අතර යුධමය තත්තවයක් පවතින මොහොතක ගැටළු කළමනාකරණය ඉතා පරිස්සමින් කිරීමට ද සිදුව ඇති බව එම ආරංචි සඳහන් කරනවා.

මේ අතර මෙම නැව් දෙක හා සම්බන්ධ සිද්ධියේ දී ශ්‍රී ලංකාව කටයුතු කරපු අයුරින් නිවැරදි බවට රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ දී මැදිහත්ව සිටින්නේ යුදමය කටයුත්තකට නොවන බවත් සාගර නීතිය ප්‍රඥප්තිවලින් පැවරී ඇති මානුෂීය වගකීමක් වන බවත්ය.

රජය මේ සම්බන්ධව විදේශීය රාජතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා මේ කටයුතු සඳහා ක්‍රියාශීලීව සම්බන්ධව සිටි ගැටළු විසඳා ගැනීම සඳහා ඔහු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් සමඟ පසුගිය සතියේ දී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ අතර ඉරාන නැව් දෙකේ නාවිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව රජයේ බුද්ධි අංශ ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ විශාඛා පට්නම් හි පැවැති යුද අභ්‍යාසයකට සහභාගී වී ඉරානය බලා යමින් සිටි අයිර්ස් ඩේනා නෞකාව ශ්‍රී ලංකාවට ඈත මුහුදේ දී පසුගිය 4 වනදා අමෙරිකාවේ සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශයට පත් වුණා.

එම නැවේ 180 දෙනෙක් ගමන් කර ඇති අතර ඉන් 32කගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.

මෙරට නාවික හමුදාව සිදුකළ මානුෂීය මෙහෙයුමෙන් නැවේ ගමන් ගත් තවත් නාවිකයන් 87 දෙනෙක්ගේ මළ සිරුරු ගාල්ල ජාතික රෝහලට රැගෙන එනු ලැබුවා.

කොළඹට ඈත මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවේ නාවික සාමාජිකයෝ 250කට වැඩි පිරිසක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදා ගෙන වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවනු ලැබ සිටිනවා.

මේ අතර මැදපෙරදිග අර්බුදයෙන් පසු මෙරට විදේශීය තානාපති කාර්යාලය සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාව ලබාදී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *