Loading...

කතරගම – බුත්තල පාරේ වනඅලින්ට කෑම දෙන රියදුරන්ට වැඩ වරදියි

කතරගම – බුත්තල මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙසේ වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් උන් මාර්ගය ආශ්‍රිතව රැඳීසිටීමට හුරුවී ඇති අතර, ඒ හේතුවෙන් රථවාහනවලට වනඅලි විසින් සිදුකරන දරුණු පහරදීම් සහ අනතුරු ඉහළ ගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ වනවිටත් කතරගම – බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින අතර, දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් ගමන් කරන මෙම මාර්ගයේදී ආහාර නොලැබෙන අවස්ථාවලදී සතුන් කුපිත වී වාහන පෙරළීමට සහ පහරදීමට උත්සාහ කරන අවස්ථා රැසක් ද වාර්තා වී තිබෙනවා.

මෑතකදී ද වනඅලියෙකු පහරදීමෙන් බස් රථයක් පෙරළී පුද්ගලයින් 40දෙනෙකු පමණ තුවාල ලැබූ අතර, පසුගිය වසර 6 තුළ වනඅලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වසරකට රථවාහන සියයකට අධික සංඛ්‍යාවකට හානි සිදුවන බවයි වාර්තා වන්නේ.

යාල ජාතික වනෝද්‍යානයේ අංක දෙක කලාපයට අයත් මෙම මාර්ගයේ ගමන් කිරීමට අවසර තිබුණද, වාහනවලින් බැස වනසතුන්ට ආහාර ලබාදීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්.

විශේෂයෙන්ම බස් රථ සහ සෆාරි ජීප් රථ රියැදුරන් මෙලෙස ආහාර ලබාදීමට හුරු වී ඇති අතර, කොරෝනා වසංගත සමයේ රථවාහන ගමනාගමනය සීමා වූ විට මෙම වනඅලින් මාර්ගයට නොපැමිණ වනය තුළ ඇති ස්වභාවික ආහාර වෙත යොමුවී සිටි බව ද නිලධාරීන් මතක් කර දෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, වනජීවී ආඥා පනත යටතේ වනසතුන්ට පීඩා වන අයුරින් කටයුතු කිරීමේ වරද යටතේ මෙලෙස ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර අදාළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට වහාම කටයුතු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *