Loading...

ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (16) රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ආරියරත්න මහතා 93 වැනි වියේ පසු වුණා.

1931 වසරේ දී උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

කලක් කොළඹ නාලාන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු ඔහු සර්වෝදය ශ්‍රමදාන පදනම ආරම්භ කිරීමේ මුලික අඩිතාලම දමනු ලබන්නේ එම අවධියේදීයි.

1950 දශකයේ දී ඒ මහතාගේ සංකල්පයට අනුව බිහි කෙරුණු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය පුරා දශක 06ක් මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයක් ලෙසයි සැලකෙන්නේ.

මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් දෙස් විදෙස් ඇගයීම් රැසකට ද ඔහු පාත්‍රවූණා.

තවද ශ්‍රී ලාංකිකයෙක් වෙනුවෙන් මෙරට පිරිනැමෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ඔහුට 2007 වසරේදී පිරිනැමෙනවා.

ඊට අමතරව පිලිපීනයේ රැමෝන් මැග්සේසේ සම්මානයට පවා ඔහු පාත්‍ර වුයේ සර්වෝදය ව්‍යාපාරය හරහා ලාංකික සමාජයට සිදුකළ සේවාව ඇගයීම වෙනුවෙනි.

මේ අතර ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද (17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මුලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතයි.

ලබන 20 වනදා දහවල් 12 දක්වා එම ස්ථානයේ තැම්පත් කර තැබෙන ඒ මහතාගේ දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

20 වනදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *