කෙටි කාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි.
මෙරට වෙළඳපොලේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය සම්බන්ධව දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා අනුමැතිය ද හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
“දෙසැම්බර් මස 15වනදාට පෙර අපි වෙළෙඳපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ස්වර්ණ නාඩු තමයි අපේ රටේ පරිභෝජනයට ගැලපෙන නාඩු වර්ගය. මේ නාඩු වර්ගය තමයි අපි ගෙන්වන්න තීරණය කරලා තියෙන්නේ.
මේ සහල්වල රුපියල් 220 මිලට වඩා ඉහළ යන්නේ නෑ. ඊට අඩු වුණත් වැඩිවෙන්න බෑ. සහල් ලබාදෙන්න පුළුවන් කෙටිම කාලය තමයි දෙසැම්බර් මස 15වනදා. ඒ කාලය තුළ වෙළෙඳපොළේ සහල් තියෙන්න ඕන කියන එක තමයි අපේ තීරණය.
සහල් මෙට්‍රික්ටොන් 70,000ක සීමාවකට යටත් සහල් ගෙන්වන්නේ ඒ සහල් ජනවාරි 15 වෙනකොට වෙළෙඳපොලේ එම සහල් අලෙවී අවසන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.”
මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මින් ඉදිරියට රජයෙන් ණය ලබාදීමේදී, එම ලබාදුන් ණයවලට ලබාගත් වී හා සහල් තොග පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත රජයට ලබාදිය යුතු බවයි.
Leave a Reply