තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව මාර්තු 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මාර්තු 17 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.
එම කොමිෂන් සභාව සඳහන් කළේ 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබිය යුතු බවයි.
මේ අතර අයදුම්පත්‍ර ලැබීමේදී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා මාර්තු 13 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සම්පුර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑල භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙසද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනයෙන් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය 10 වැනි දින නාමයෝජනා දැන්වීම පළ කළ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල පමණක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය එළැඹෙන 19 වැනිදා බවයි.
Leave a Reply