පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ගිහි ඇඳුම් අන්දවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිද්ධිය මුල්කරගනිමින් අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (08) පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කෙරුණු ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩි විමතිය සහ කනස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) විශේෂ ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබුණා.
එම ලිපිය මගින් උන්වහන්සේලා පෙන්වා දෙන්නේ, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම හුදෙක් බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය මහා සංඝරත්නයට සහ සංඝ සභාවට පමණක් අයත් ශාසනික කාර්යයක් බවයි.
ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය අහෝසි වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක, බන්ධනාගාර පාලනාධිකාරිය විසින් මෙලෙස කටයුතු කිරීම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක්කිරීමක් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායට සිදුවූ දැඩි හානියක් බවයි මහානාහිමිවරුන් අවධාරණය කරන්නේ.
එබැවින් අධිකරණ තීන්දුවට හෝ බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන පරිදි, ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාවේදී උන්වහන්සේගේ භික්ෂූත්වයට හානියක් නොවන ලෙස කටයුතු කිරීමටත්, ඉදිරි අධිකරණ වාර සඳහා උන්වහන්සේට අඛණ්ඩව භික්ෂු වේශයෙන්ම පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත් මහානාහිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මෙම උණුසුම් තත්ත්වය හමුවේයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේ අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා සංඝරත්නය අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව.







Leave a Reply