Loading...

, , ,

මහේස්ත්‍රාත් නියෝග දෙකක් අභියාචනාධිකරණය අත්හිටවයි.

උසාවියට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත්තිලිණ ගමගේ මහතාගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් කොළඹ පලාත්බද මහාධිකරණයට යොමු කළ ප්‍රතිෂෝධන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් පී එස් නිශ්ශංක මහතා කළ නියෝගය ප්‍රතිෂෝධය කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන ගොනු කළ ප්‍රතිෂෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ගොනු කළ ප්‍රතිෂෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, අන්තර්ජාල බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් එම් යූ සුබසිංහ සහ නීතිපතිවරයා වගඋත්තරුවන් ලෙස නම් කර තිබිණි.

අද මෙම තීන්දුව ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිඥ සු‌රේන් ඩී පෙරේරා, නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ මනුෂිකා කුරේ සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දෙමින් එම නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනමාධ්‍ය, සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම මාධ්‍ය සාකච්ඡාවේදී පිරිසක් අධිකරණයට අපහාස කළායැයි කියමින් නතාෂාට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේදී නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් පදනම් කරගනිමින් පෙත්සම්කාර තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසට එරෙහිව විමර්ශනයක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම් විභාගයේ දී පෙන්වා දුන්නේය.

නීතිඥවරයාගේ කරුණු දැක්වීමේ කිසිම තැනක පෙත්සම්කාර තරිඳු ජයවර්ධනගේ නම නොතිබියදී මහේස්ත්‍රාත්ගේ නියෝගයේ තරිඳු ජයවර්ධන යනුවෙන් සඳහන් කර ඇති බවත්, මෙය ගැටලු සහගත බවත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණන බල ප්‍රදේශයේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ කළ මාධ්‍ය සාකච්ඡාවකට අදාලව කොටුව මහේස්ත්‍රාත්වරයා තීන්දුවක් ලබාදීම අධිකරණ බලය ඉක්මවා යෑමක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පරීස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අපහාසයක් ගැන සෙවීමට මහේස්ත්‍රාත්වරයාට කිසිම බලයක් නැති බවත්, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද හැකියාවක් නැති බවත්, තමන් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් පොලිසියේ වැරදි ක්‍රියාකලාපය විවේචනය කළ ද කිසිම අවස්ථාවක අධිකරණයට අපහාස නොකළ බවත් තරිඳු ජයවර්ධන මාධ්‍යවේදියා පෙත්සමේ සඳහන් කර තිබේ. ඔහු විසින් මාධ්‍ය හමුවේදී කළ අදහස් දැක්වීමේ පිටපතක ද සංයුක්ත තැටියක් මගින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *