සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්රධාන මාර්ගයේ අඛණ්ඩව රැඳී සිටිනවා.
ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා වූ මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ, ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය වහාම නිශ්චිත හා පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බවයි.
එහෙත්, එම ස්ථානයට පැමිණි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ ඒ පිළිබඳව ක්ෂණික හෝ නිශ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි බවයි.
පසුව මෙම අර්බුදකාරී අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා ද පැමිණි අතර, ඔහු ස්ථානගතව සිටි මහා සංඝරත්නය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානියා සඳහන් කළේ, උන්වහන්සේලා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.
ඒ අනුව, ආණ්ඩුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදනවලට අනුකූලව අදාළ නීතිමය ක්රියාවලිය යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත්, අදාළ නීතිමය ක්රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා කොතරම් කාලයක් ගතවන්නේදැයි රැස්ව සිටි හිමිවරුන් එහිදී ප්රශ්න කර සිටියා.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානියා කියා සිටියේ, ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ප්රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි.
එම ප්රකාශයත් සමඟ සිය අසන්තෝෂය පළ කළ මහා සංඝරත්නය ඇතුළු පිරිස, තමන්ගේ අරමුණ ඉටුවන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී අඛණ්ඩව රැඳී සිටීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.






Leave a Reply