Loading...

අනෝජන්ගේ මරණ දඬුවම අහෝසි කිරීම සමස්ත ලාංකිකයන්ටම ලොකු අස්වැසිල්ලක් – ජනපති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මානුෂීය තීරණය අතිශය අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සුවිශේෂී තීන්දුව ඇගයීමට ලක්කරමින් ජනාධිපතිවරයා සිය නිල ‘X’ (පෙර Twitter) ගිණුමේ විශේෂ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම අදාළ සිද්ධිය පිළිබඳව දැඩි උනන්දුවෙන් සහ කංසාවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම ලැබුණු අතිමහත් අස්වැසිල්ලක් සහ සහනයක් බවයි.

මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට උපරිමයෙන් ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත, ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහයේ අගනා ප්‍රතිඵලය ලෙස මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ වෙනුවෙන් සුවිශේෂී සහයෝගයක් දැක්වූ සෞදි අරාබි රජයට සිය විශේෂ ස්තූතිය පිරිනමන බවත්, මෙම සංකීර්ණ නීතිමය ක්‍රියාවලිය වෙනුවෙන් අසීමිත කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍යතාන්ත්‍රිකයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සහ සෞදි නීති කණ්ඩායම් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උණුසුම් ප්‍රණාමය හිමිවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

එමෙන්ම, අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සියල්ල සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලුම රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය සහයෝගයන් ඉදිරියටත් නොඅඩුව ලබාදීමට රජය සූදානමින් සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

වඩා හොඳ ජීවනෝපායක් සහ අනාගතයක් සොයා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් විදේශයකදී තනිවී ඇතැයි යන හැඟීමක් කිසිසේත්ම ඇති නොවිය යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest