ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුන්ගේ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් අද (24) නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව වැඩබලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් ද අධිකරණය නිකුත් කරනු ලැබුවා.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේ.
මැයි මස 08 වනදා දක්වා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළ බවයි.
ඉන්පසුව පක්ෂයේ වැඩබල සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
තවද වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් පක්ෂයේ විධායක සභාව නැමැති රැස්වීමක් පසුගිය 21 වනදා කැඳවා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපතිවරයා පත්කර ඇති ආකාරය නීතියට පටහැනි බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇති අතර එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩබලන මහලේකම්වරයාට බලයක් නොමැති බව පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කළ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිප සාමාජිකයෙකු නොවන බවත් ඔහු දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත්ය.
නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කර නොහැකි බවත් විජයදාස රාජපක්ෂ මහතා මේ වන විටත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ බවත් ඔහුට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අමතරව විජයදාස රාජපක්ෂ මහතා මසකට පෙර නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි පක්ෂ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු පක්ෂ සාමාජිකත්වය ස්ථිර වන්නේ එය ලබාගත් දින සිට මාස 6ක් ගත වීමෙන් පසු බවත් විජයදාස රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇති බව සඳහන්.
ඉහත කරුණු සියල්ලට සැලකිල්ලට ගනිමින් දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply