Loading...

ජනපති අනුර නිසා ‘නිකවැරටිය ලේ විලක් කරනවා’ යැයි ෆේස්බුක් සටහන් දැමූ 21 හැවිරිදි සරසවි සිසුවා ඇප

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කුරුණෑගල සංචාරයක් ඉලක්ක කරගනිමින් නිකවැරටිය ප්‍රදේශයේ සිදුවිය හැකි ‘ලේ වැගිරීමක්’ සහ ‘නිකවැරටිය ලේ විලක් කරන බවට’ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය භයානක සටහනක් පළ කිරීමේ සිද්ධියකට අදාළව 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකුට එරෙහිව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ නිල ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අදාළ සිසුවා නිකවැරටිය, කොටවෙහෙර පොලිස් වසමේ පදිංචිකරුවෙකු බවයි.

අමාත්‍යවරයා අනාවරණය කළ පරිදි, අදාළ විශ්වවිද්‍යාල සිසුවා විසින් ඉකුත් ඔක්තෝබර් 11 වැනි දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්, එදිනම නිකවැරටිය ප්‍රදේශය ‘ලේ විලක්’ බවට පත්වන බවට බරපතල ප්‍රකාශයක් කර තිබුණා. එමෙන්ම, අදාළ සටහනේ ලේ වැගිරීම් සහ ‘කර්මය’ පිළිබඳව සඳහන් කර තිබූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ කාල සීමාව තුළ කුරුණෑගල වෙත සිදුවීමට නියමිතව තිබූ සංචාරයක් පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපතිවරයාගේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි අතිශය සංවේදී සහ තර්ජනාත්මක සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් කිසිදු ලිහිල් භාවයක් නොදක්වා විමර්ශනය කළ යුතු බව අවධාරණය කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ පරික්ෂණයක් පවත්වන බව ද තහවුරු කර සිටියා.

මේ අතර, අත්අඩංගුවට ගත් අදාළ 21 හැවිරිදි සරසවි සිසුවා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest