Loading...

කලින් තිබුණු එකඟතාවයන්ට කැමැති නම් ව්‍යාපෘතිය කරමු – අදානි සමාගම රජයට දැනුම් දෙයි

මීට පෙර ඇති කරගෙන තිබූ අනුමැතීන්ට අනුව මන්නාරම මෙගාවොට් 484ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් පසුවන බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

පසුගියදා අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකාවේ මන්නාරමේ පිහිටි ඔවුන්ගේ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒ අදාළ ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද නව සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීම සමඟයි.

ලංකා විදුලිබල මණ්ඩලය සහ රජයේ දෙපාර්තමේන්තු සමඟ වසර දෙකක සාකච්ඡාවලින් පසුව සහ සාකච්ඡා වට 14කට පසු සමාගම බොහෝ අනුමැතීන් ලබාගෙන තිබුණු බවත් අනතුරුව පුනර්ජනනීය බලශක්තිවල මිල ගණන් ද අනුමත වූ බවත් ඔවුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එම සමාගම සඳහන් කරන්නේ අති නවීන තාක්ෂණයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අනුබද්ධිත සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය හරහා තමන් අපේක්ෂා කළ බවයි.

මෙරට බලශක්ති යටිතල පහසුකම් සඳහා සහාය වීම සඳහා 220 KV සහ 400 KV සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීම සමඟ මන්නාරම සහ පුනරීන් හි MW 484 සුළං බලාගාර පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සුළං ව්‍යාපෘතියේ පුර්ව සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 5ක් වියදම් කර ඇති බවද වාර්තා වනවා.

මේ තත්ත්වය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම සඳහන් කරන්නේ වසර ගණනක් සාකච්ඡා කර එළැඹි මෙම අනුමැතීන් සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නිල වශයෙන් අනුමැතිය ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටින බවයි.

කිසිම ආකාරයක නිල සන්නිවේදනයක් නොවූ පසුබිමක මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඔවුන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම පවසන්නේ ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි, පුර්නජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තමා සැමවිටම කැමැත්තෙන් සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *