ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.
“අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබු නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම බාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා.
එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවෙකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබු නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා.
ඉදිරියේදී අප ජනාධිපතිවරණය පවත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි.“
Leave a Reply