Loading...

චීන දූත පිරිසක් සහ ජනපති අනුර අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චීන දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය විසින් ලබාගනු ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධව සිය සුබ පැතුම් එක්කළ චීන උප අමාත්‍යවරිය එම ජයග්‍රහණයවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගිතාවයකින් කටයුතු කිරීමට චීනය සුදානම් බවද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සේම ශ්‍රී ලංකාව ද සංවර්ධන අපේක්ෂාවෙන් සම්බන්ධව මෙහිදී අවධානය යොමු වී ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන දිගු කාලින සහයෝගීතා වැඩපිළිවෙලක් දෙරට අතර ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

සංචාරයට පැමිණ සිටින නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇත්තේ ආයෝජන ප්‍රවර්ධනය, තාක්‍ෂණ හුවමාරුව, ඩිජිටල්කරණය සහ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම ඇතුළු විවිධ සංවර්ධන මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් පසුවන බවයි.

තවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පුහුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා චීනයේ සහාය ලබාදෙන බවට ද ඔවුන් ජනාධිපතිවරයා හමුවේ සහතික වී තිබෙනවා.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥාතාව පළකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවෙන බවද අවධාරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *