රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බවට පැවසෙන මේජර් ජෙනරාල්වරයෙක් සහ සැරයන්වරයෙක් කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය එලෙස සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනය යුද හමුදා මුලස්ථානයෙන් ගනු ලැබුවේ ඔහු විසින් බවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ අනුව හිටපු ශ්‍රී ලංකා සෙබළුන් 114 දෙනෙක් පමණ යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් පිටත් වී ඇති බව හෙළිව තිබෙනවා.
ඔවුන්ගෙන් 60 දෙනෙක් රුසියාවට සහ අනෙක් 54 දෙනා යුක්‍රේනයටත් යෑමට බලාපොරොත්තුවෙන් මෙරටින් ගොස් තිබුණා.
රුසියා – යුක්‍රේන යුද්ධයට එක්වී ඉන් පැන ආ හිටපු හමුදා සාමාජිකයින් ප්‍රකාශ කරන්නේ ලාංකිකයන් 1000ක් පමණ එහි සිටින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා කියා සිටියේ මේ සම්බන්ධව තවමත් තොරතුරු රැස් කරමින් සිටින බවත් ඒ ගැන තහවුරු කළ නොහැකි බවත්ය.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රුසියා – යුක්‍රේන යුද්ධයට ගොස් ඇති බවට වාර්තාවන තම සමීපතමයින්ට තොරතුරු ලබාදෙන ලෙසටත් එම තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙසත්ය.
Leave a Reply