කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගන්නා ලද ඓතිහාසික ගිවිසුම් නැවත විවෘත කිරීමට හෝ සංශෝධනය කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි එරට නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව ඉතා යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන යන බවත්, ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් පවතින ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ පමණක් විසඳාගැනීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව තනිපක්ෂීයව යම් තීරණයක් ගත්තේ වී නමුදු, එම තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම බල කළ නොහැකි බවයි ඉන්දීය නීතිපතිවරයා අධිකරණයට හමුවේ වැඩිදුරටත් තහවුරු කළේ.
1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමාකිරීම අභියෝගයට ලක්කරමින් තමිල්නාඩු දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් කිහිපයක් විභාගයට ගත් අවස්ථාවේදීයි රජය මේ බව දැනුම් දුන්නේ.
එහිදී ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් මෙලෙස නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවන බව ද ඉන්දීය රජය අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ (06) පැවති මෙම තීරණාත්මක නඩු විභාගයේදී අදාළ ගිවිසුම් දෙකෙහි ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු අවසන් තීන්දුවක් ලබාදී නැහැ.
2008 වසරේ සිට එකදිගට විභාගයට ගැනෙන මෙම ආන්දෝලනාත්මක පෙත්සම් මාලාවේ වැඩිදුර විභාගය එළඹෙන 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් තැබීමටයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.







Leave a Reply