10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක අදාළ දින තුනෙහි පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
අභිනව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සාම්ප්‍රදායික සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවර ද සංවිධානය කර තිබෙනවා.
25 වනදා සඳුදා පෙරවරු 9.30ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන්.
මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රයෝගික සැසියක් ද පැවැත්වීමට මෙහි කටයුතු යොදා ඇති බවද වාර්තා වනවා.
තවද දුෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් සම්බන්ධ මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද මෙම වැඩමුළුවේදී දැනුවත් කිරීමට නියමිතයි.
මෙහිදී පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්වය හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.
Leave a Reply