Loading...

බාලගිරියට අහුවුණු දඹුල්ල කෘෂි ශීතාගාරය

    නිසි ගබඩා කිරීමක් නොමැති වීම හා දුර්වල ප්‍රවාහනය හේතුවෙන් ලංකාවේ කෘෂි අස්වැන්නෙන් සියයට හතළිහක් පමණ අපතේ යයි. ආහාර අර්බුදයක් පිළිබඳ භීතියක් පවතින වර්තමානයේ මෙසේ අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්  ඉවත දැමීමට සිදුවීම බලවත් අපරාධයකි. එසේම සිය ජීවිත එළවළු කොරටු , පළතුරු වගා බිම් හා හේන් මත්තේම දියකර හරින ගොවි මහතුන්ට මෙන්ම පඩිපත හෝ ආදායමෙන් හතරෙන් එකක් පමණ එළවලු හා පලතුරු වෙනුවෙන් වැය කරන පාරිභෝගිකයාට ද මෙම නාස්තිය බලවත් අසාධාරණයකි.   බිම් සැකසුමේ සිට  අස්වැන්න පාරිභෝගිකයා අතට පත්වීම දක්වාම  ගොවිතැනේ නවීකරණයක් අවශ්‍ය වන්නේ එහෙයිනි.

               මෙබඳු නවීන තාක්ෂණය මුසු වූ සුවිශේෂී ව්‍යාපෘතියක් 2019 ජුනි 26 වෙන දින ආරම්භ විය. ඒ දඹුල්ල ශීතාගාරය  ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදනවලට ගබඩා පහසුකම් සැපයීම මගින් ඔවුන්ට සාධාරණ මිලක් ලබාදීම හා ගොවීන්ගේ නිෂ්පාදනවලට සිදුවන පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම මෙම ශීතාගාරය ඉදිකිරීමේ  අරමුණු වේ.

                   මෙට්‍රික් ටොන් පන්දහසක   ධාරිතාවයකින් යුත් මෙම හරිතාගාරය වර්ගමීටර් 5470ක  විශාලත්වයකින් යුතුවේ. විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම්වලින් යුතු ඒකක හයකින් මෙම හරිතාගාර සංකීර්ණය සමන්විත වේ. ප්‍රභාෂ්වර නමින් හඳුන්වා තිබෙන යෝජිත  ශීතාගාරය  ලංකාවේ ඉදි කෙරෙන උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ප්‍රථම  ශීතාගාර සංකීර්ණයයි.

                   දඹුල්ල  ශීතාගාරයේ ඉදිකිරීම සඳහා ඉන්දියානු රජයේ ආධාරය මෙරටට ලැබී තිබේ. නැවත ගෙවිය යුතු නොවන එය මුදලින් රුපියල් මිලියන 300කි. ශ්‍රී ලංකා රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 225ක් යොදවා තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වියදම රුපියල් මිලියන 525 ක් ලෙස ගණන් බලා තිබේ. 

                      හෙක්ටයාර්  12,457 ක් පුරා විහිදෙන  ශීතාගාරය ඉදි කෙරෙන ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු වූ ඉඩමකි. හර්ෂ  ද සිල්වා හිටපු අමාත්‍යවරයාගේ අදහසකට අනුව හිටපු අමාත්‍ය   චම්පික රණවක මහතාගේ මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ  ශීතාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ. 2024 මාර්තු 31 වන දින ඉදිකිරීම් කටයුතු නිම කිරීමට යෝජිත  ව්‍යාපෘතියේ මේ වන විට මුළු ව්‍යාපෘතියෙන් සියයට අසූවක පමණ ප්‍රමාණයක වැඩ කටයුතු නිමා වී ඇත. මෙම ඉදිකිරීම් සිදුකිරීමට සමගාමීව දඹුල්ලේ ගොවි සමිති ඒකාබද්ධ කරගනිමින් මෙම ශීතාගාරයේ අස්වැන්න ගබඩා කරන්නේ කෙසේද? එහිදී අස්වැන්න සකස් කරන්නේ කෙසේද? යන ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද දියත් කර තිබුණි.

                        එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව අපතේ යන ආහාර ප්‍රමාණය වාර්ෂිකව බිලියන 1.3 ට ආසන්නය. එහෙත් ලොව බිලියනයකට ආසන්න ප්‍රමාණයක් ජනයා කුසගින්නේ සිටිති ලංකාව සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව, වැඩිහිටියන්ගෙන් 73% එළවළු හා පළතුරු ප්‍රමාණවත් ලෙස පරිභෝජනය නොකරති.  අවුරුදු පහකට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම 21% තරම් ඉහළ අගයක් ගනියි. මෙබඳු වාතාවරණයක් යටතේ අපට තවදුරටත් ආහාර අපතේ යාමට ඉඩ දී නිහඬව බලා සිටිය නොහැක.

                අස්වනු නෙළීමේදී,ඇසුරුම් කිරීමේදී,ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී ආහාර භෝග වලට හානි වේ . ප්‍රවාහනයේදී පමණක් එසේ සිදුවන හානිය එළවළු මෙට්‍රික් ටොන් 221,955 ක් හා පලතුරු  මෙට්‍රික්ටොන්  290,151 වේ.මෙම හානිය ගොවීන්ගේ ආදායම පහළ හෙළයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවීන් අධෛර්යමත් වේ. ඔව්හු තවදුරටත්  තම ජීවනෝපාය ලෙස ගොවිතැන තෝරාගැනීමට පසුබට වෙති මෙය ගොවියාගේ පෞද්ගලික ගැටලුවක් පමණක් නොවේ. අවධානය යොමු විය යුතු , අවධානය යොමු කළ යුතු ජාතික ගැටලුවකි.

                    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% ප්‍රමාණයක් ජීවනෝපාය වශයෙන්  කරනුයේ ගොවිතැනයි.ඉන් 30% අක්කරයකට වඩා අඩු ඉඩම් හිමි   ගොවීන්ය. එනම් එදා වේල  වෙනුවෙන් මහපොළොව හා  පොර බදන අහිංසකයන්ය.  ඔවුන්ට මහා පරිමාණ ගබඩා පහසුකම් හෝ  නවීන තාක්ෂණික පහසුකම් නැත.දඹුල්ල ගොවීන් පවසන ආකාරයටනිසි ගබඩා පහසුකම් නොමැති වීම ඔවුන්ට සිය අස්වැන්න කුණු කොල්ලයට විකුණා දැමීමට එක් ප්‍රධාන හේතුවකි. ඒවා තබා ගැනීමෙන් සිදුවිය හැකි හානි නිසා බරපතළ ලෙස පාඩු විඳීමට වඩා අඩු මිලකට හෝ එම අස්වැන්න විකුණා දැමීමට ගොවීහු පෙළඹෙති. ප්‍රභාෂ්වර ව්‍යාපෘතිය නිසා ගොවීන්ට සිය අතිරික්ත අස්වැන්න නිසි ගබඩා පහසුකම් යටතේ වැඩි කාලයක් තබාගෙන අවාරයට එම භෝග සාධාරණ මිලකට විකුණා ගැනීමේ අවස්ථාව හිමිවෙයි. මේ නිසා මෙම ව්‍යාපෘතිය කෙරේ ගොවීහු අපේක්ෂාවේ නෙතු දල්වා බලා හිඳිති.

                 ශීතාගාරයේ ගබඩා කිරීමට යෝජිත අතිරික්ත එළවළු හා පළතුරු අස්වැන්න හිඟ කාලවලදී වෙළඳපොළට නිකුත් කිරීම මෙන්ම එම අතිරික්තය එළවළු හා පළතුරු ආශ්‍රිත වෙනත් කර්මාන්ත සඳහා යොදා ගැනීමට සැලසුම් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ජෑම්, කෝඩියල්, අච්චාරු, චට්නි වර්ග , සලාද වර්ග වැනි සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන  මෙන්ම අතිරේක ළදරු ආහාර, වියලූ එළවළු හා පලතුරු ,  සීරියල් වර්ග හා ආහාර කුඩු වර්ග, එළවලු පලතුරු ආශ්‍රිත කෙටි  කෑම හා කැවිලි වර්ග ආදී  නිෂ්පාදනයන් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු නොවුනහොත් මේ සා විශාල පිරිවැයක් දරා ශීතාගාරයක් ඉදි කිරීමේ නිසි ප්‍රතිඵල නෙලා ගත නොහැකි වනු ඇත. ඉදි කෙරෙමින් පවතින ශීතාගාරය  අයත් වන අමාත්‍යංශය වූ වෙළඳ  හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය සතුව එවන් අරමුණක් ඇති බවක් නම් පෙනෙන්නට නැති වීම කණගාටුවට  කරුණකි.

                 එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බලයට පත් සෑම පක්ෂයකම ඡන්ද පොරොන්දු අතර කෘෂිකර්මාන්තය හා ගොවි ජනතාව නගා සිටුවීමේ මෙන්ම  පාරිභෝගික සහන සැලසීමේ පොරොන්දු ද නොඅඩුව තිබුණි. ඇට අටේ පොරොන්දුවේ සිට බිම් සවිය දක්වාම සිදුවූයේ ගොවියා රැවටීමේ කාර්යයයි. ඡන්දයෙන් ඡන්දයට විවිධ වර්ණයෙන් අයිසින් කරන ලද  පොරොන්දු වලින් මෙතෙක් ගොවියාට සිදුවූ යහපතක් නම් නැත. පක්ෂයකට රජයකට අවශ්‍ය වන්නේ ජනතා සුබ සිද්ධිය සැලසීම නම්, ඉකුත් රජයකින් ආරම්භ කරන ලද යහපත් කටයුතු කුණු කූඩයට විසි වන්නේ කෙසේද? 

  2019 වසරේ දඹුල්ල ශීතාගාරය ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත රුපියල් මිලියන 550ට අමතරව ඉදිකිරීම් වැඩ අවසන් කිරීමට මිලියන 150ක් අවශ්‍ය වන අතර ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ ගැනීමට යන වියදමවත් තවමත් ඇස්තමේන්තු කර නැත. යහපාලන ආණ්ඩුවට බලය අහිමිවීමත් සමඟ   ශීතාගාරයේ කටයුතු මන්දගාමී විය.  2020 වසරෙන් පසුව ශීතාගාරයේ ඉදිකිරීම් නතර වූවේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් 90%ක් පමණ අවසන්වී තිබියදී ඉන්දියානු සමාගම ව්‍යාපෘතිය අත් හැර දමා යෑමත් සමඟ බව ආහාර කොමසාරිස්වරයා පැවැසීය. ශීතාගාරය ඉදිකිරීමට විරුද්ධව යුධ ප්‍රකාශ කළෝ අසරණ ගොවියා සූරාකමින් අස්වැන්න කොල්ලකන අතරමැදියෝය; හුදෙක් බලයම පමණක් අරමුණු කරගත් දේශපාලකයෝය.  විටින් විට එබඳු විරෝධතාවයන්ගෙන් දඹුල්ල ප්‍රදේශය කැළඹී යනු අවස්ථා කිහිපයකදීම අපි දුටුවෙමු.  වෙනෙකක් තබා මෙම ව්‍යාපෘතියේ නියමුවන්ට  දඹුල්ලට යාමට පොලිස් ආරක්ෂාව සෙවීමට පවා සිදු විය. අහිංසක ගොවීහු  බලා හිඳිති. ඒ මෙම ව්‍යාපෘතියෙන් හෝ ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමටය; වගාව වෙනුවෙන් වූ ණය තුරුස් බේරා වස බෝතලය ඉවත හෙළීමටය;  රළු මහ පොළොව සමග හැප්පී හෝ අඹු දරුවන්ගේ  කුස ගින්න නිවීමටය.

                බොහෝ කෘෂිකාර්මික රටවල් සිය වගාවන් සඳහා නවීන තාක්ෂණය මුසු කරගෙන තිබේ. ඉන්  නවීන බිම් සැකසුම, වැඩි අස්වැන්න,  නිසි ප්‍රවාහනය, උචිත ගබඩා කිරීම් මෙන්ම පහසුව හා වැඩි ආදායමක් ලබාගැනීමට එම රටවල් සමත්ව තිබේ. මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ රජය කුමක් හෝ වේවා, පවතින රජය කුමක් හෝ වේවා දේශපාලන අරමුණු ඉවතලා මෙවැනි ව්‍යාපෘති කඩිනමින් නිමා කළ යුතුවේ. මෙම ශීතාගාරය පමණක් නොව රට පුරා ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙවැනි ශීතාගාර ඇරඹීම කාලීන අවශ්‍යතාවයකි .

අතරමඟ නවතා ඇති දඹුල්ල ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු 2023 සැප්තැම්බර් 13 දා සිට ආරම්භ කර මේ වසරේ මාර්තු මාසය වන විට ටොන් 840ක් ගබඩා කළ හැකි එක් කුටීරයක් සම්පූර්ණ කර ගොවීන්ට ලබා දෙන්නට සියල්ල සූදානම් කර ඇති බවත් ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ඩී. අල්විස් මහතා පසුගිය වසරේදී පුවත්පත් වලට අදහස් දක්වා තිබුනේ ය . කෙසේ හෝ වේවා යෝජිත ඉතිරි ශීතාගාර හතෙහිත් කටයුතු කඩිනමින් නිම කළ යුතුව තිබේ. මේ මස 31 වෙනිදායින් ඉදිකිරීම් අවසන් කිරීමට කිරීමට  යෝජිත දඹුල්ල  ශීතාගාරයේ ඉතිරි 20% වැඩ අවසන් කර 2024 දෙවන කාර්තුවේ ශීතාගාරය දැයට සෙත පිණිස සිය කටයුතු අරඹනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සටහන – චම්පිකා මුතුකුඩ


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *