ඉතාලියේ මොන්කෝල්ෆොනෙ (Monfalcone) නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එම නගරයේ 30%ක් පමණ විදෙස් රටවලින් පැමිණි පිරිසක් ජීවත් වන බවයි. ඉන් බහුතරයක් බංග්ලාදේශ ජාතිකයන් වන බවද සඳහන්. 1990 වසරේ සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණා.
මෙම තහනමට හේතු දක්වමින් එහි නගරාධිපතිනිය පවසන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බවයි. නගරය තුල එලෙස ක්‍රීඩා කිරීමට උත්සහ කරන පුද්ගලයෙක්ට යුරෝ 100ක් පමණ දක්වා දඩ මුදලකට හසු විය හැකි බව ද විදෙස් පුවත් වාර්තා කරයි.
මෙය මෙලෙස නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වූ පලමු අවස්ථාව නොවේ. ලෝකයේ මීට පෙරත් මෙවැනි ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව විවිධ ක්‍රීඩා තහනම් කිරීම්වලට ලක් වූ ආකාරය වාර්තා වී ඇත. ඕනෑම රටකට කිසියම් සාධාරණ හේතුවක් මත මෙලෙස සමස්ත රටේම හෝ නගරයක හෝ සීමා සහිත ප්‍රදේශයක ක්‍රීඩාවක් තහනම් කිරීමේ හැකියාව ඇත.
මීට පෙර ඉරානය, ඇෆ්ගනිස්ථනය, පකිස්ථානය වැනි රටවල මෙවැනි දීර්ඝකාලීන ක්‍රීඩා තහනම් කිරීම් පැනවී ඇති ආකාරය වාර්තා විය. විශේශයෙන් 2021 වර්ශයේ දී තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථනය අත්පත් කරගැනීමෙන් පසු එරට කාන්තාවන්ට ක්‍රීඩා සදහා සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුනි. ඉරානයේද වසර ගණනාවක් තිස්සේ මෙලෙස කාන්තාවන්ට පිරිමි ක්‍රීඩා ඉසව්වලට, විශේෂයෙන් පාපන්දු තරඟවලට සහභාගී වීම සීමා කර ඇත.
මහජන ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් අනතුරු සහ තුවාල සිදුවීම, දේපල හානි වාහන හෝ ගොඩනැගිලි වලට හානි, ශබ්ද සහ බාධා සිදුවීම් හේතුවෙන් වන නේවාසික පැමිණිලි, නාගරික සැලසුම්කරණය සහ රථවාහන කළමනාකරණය (මාර්ග තදබදය), සංස්කෘතික සහ ආගමික සාධක මෙන්ම සංස්කෘතික සම්මතයන් සඳහා ගරු කිරීම, පාරිසරික ගැටළු (පොදු අවකාශ සංරක්ෂණය), වසංගත හෝ මහජන සෞඛ්‍ය ගැටලු (COVID-19 සීමා කිරීම් වැනි) හේතු කාරණා මත ලෝකයේ විවිධ ප්‍රදේශවල ක්‍රීඩා තාවකාලික හෝ ඇතැම් අවස්ථාවල සම්පූර්ණයෙන්ම (දින නියමයකින් තොරව) තහනමට ලක් වී ඇත.
කෙසේ වුවද මෙම ඉතාලියේ මොන්කෝල්ෆොනෙ (Monfalcone) නගරයේ උක්ත සිදුවීම හුදෙක් ක්‍රීඩාවකට සීමා කිරීමක් ලෙස නොව, යම් සංස්කෘතික කණ්ඩායමකට (ජන ප්රජාවකට) එරෙහි සංකේතාත්මක පියවරක් ලෙස ලෝකය තුළ සංවාදයට බදුන් විය.







Leave a Reply