Loading...

සිංහ කොල්ලන් හමුවේ බංගලි ව්‍යාඝ්‍රයෝ දමනය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් වාර්තා කළ අතර ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

Taskin Ahmed සහ Rishad Hossain බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක බැඟින් ලබා ගැනීමට හැකි වුණා.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 32ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා.

එහිදී බංග්ලාදේශ ඉනිමේ සිව්වන පන්දුවාරයේ දෙවන, තෙවන හා සිව්වැනි පන්දුවලදී නුවන් තුෂාර කුළුදුල් කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට සමත් වුණා.

මේ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූ පස්වන පන්දු යවන්නා ලෙස නුවන් තුෂාර ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූ අතර මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිඳු හසරංග පමණි.

කෙසේ වෙතත් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිමට අස්වැසිල්ලක් වන්නට රිෂාද් හොසේන් සමත් වූ අතර ඔහු සහ මෙහෙදී හසාන් 7 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 31කදී ලකුණු 44ක සබඳතාවක් ගොඩගැනීමට සමත් වුණා.

මෙහෙදී හසාන් ලකුණු 19කට දැවී ගියද එක් අන්තයක හුදකලා වෙමින් සටන්කාමී ඉනිමක් දියත් කර රිෂාද් පන්දු 30කදී ලකුණු 53ක් රැස් කළ අතර ඔහුගේ එම ඉනිමට දැවැන්ත හයේ පහරවල් 7ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පන්දුවාර 19යි පන්දු 4කදී බංග්ලාදේශයට සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි.

නුවන් තුෂාර ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් තරඟයේ වීරයා සම්මානය දිනාගත් අතර වනිදු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

තරඟාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් දිනාගනු ලැබුවා.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *