මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනාධිපති භාර්යා ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසනවා.
එම සාමාජිකයා සඳහන් කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවයි.
ඊයේ (15) දිනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඇය, එතැන් සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවද අදාළ සාමාජිකයා පැවසුවා.
අද (16) අලුයම 12.50ට ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ කැඳවීමේ ලිපිය ගෙනැවිත් භාරදී ඇත්තේ ඇය ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයට පැමිණීමෙන් අනතුරුව බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ එළැඹෙන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
මේ අතර සිරීලිය සවිය සංවිධානයේ ගිණුමකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක මුදලක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති භාර්යා ශිරන්ති රාජපක්ෂ ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ‘සී.ටී. ස්කෑනර්’ (CT scanner) යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් එකතු කරන ලද මුදල් අවභාවිත කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.
කෙසේවෙතත්, අදාළ ස්කෑනර් යන්ත්‍රය චීන රජය විසින් නොමිලේ ලබා දී තිබූ බව පසුව අනාවරණය වී ඇත.
අදාළ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් FCIDය විසින් බැංකු නිලධාරීන්ගෙන් සහ එවකට අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
සිරීලිය සවිය සංවිධානය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව, මරදාන සහ සුදුවැල්ල ශාඛාවල පවත්වාගෙන ගිය ගිණුම් වෙත එම මුදල් මාරුකර ඇති බව එහිදී අනාවරණය වී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදල අදාළ අරමුණ සඳහා යොදවා නොමැති බැවින්, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.
ශිරන්ති රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණද, ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම ප්‍රකාශ සටහන් කරගැනීම පසුව සිදු කිරීමට නියමිත බවද එම නිලධාරියා පැවසුවා.
සිරීලිය සවිය ගිණුම සම්බන්ධයෙන් තවත් සැකකටයුතු කරුණු කිහිපයක් පවතින අතර ඒ පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම ගිණුම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 03 වන දිනද ශිරන්ති රාජපක්ෂ ගෙන් පැය 4කට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබුණා.







Leave a Reply