දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ අනුව, ගිං ගඟ පහළ ප්‍රදේශයේ බද්දේගම ආසන්න ස්ථාන කිහිපයකට මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද ලැබී ඇත.
ඊට අමතරව කොළඹ ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් වාර්තා වන අතර, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.
අම්පාර ගල්ඔය ද්‍රෝණියට මිලිමීටර් 100ක්, මඩකළපුවට මිලිමීටර් 75ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 40ක පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවද වාර්තා වනවා.
තෙත් කලාපයේ ගිං, නිල්වලා, කළු යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබුණද, ඒවා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති අතර ජල මට්ටම්වල සීඝ්‍ර ඉහළ යාමක් දක්නට නොමැති බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවා.
කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.







Leave a Reply