ජාතික ජන බලවේගයට කිසිවෙකුගෙන් පලිගැනීමේ චේතනාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) පොලොන්නරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැලිය ඇමතු අවස්ථාවේදීය.
පලිගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දිනයේම එවැනි දේ සිදුකිරීමට ඉඩ තිබූ බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ජනාධිපතිවරයා පැවසුවා
“අපිට කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නැහැ. පළිගන්නවා නම් පළිගන්න තිබ්බෙ කවද්ද ? 2024 සැප්තැම්බර් 21. එහෙම අපි පළිගන්නෙ නැහැ. සමහර අය අපෙන් ඇහුවා කල්යනකොට සහෝදරයා කල්යනවා වැඩියි නිකම්, අහුවෙන්නෙ නැද්ද හොරු කියලා.
අපි ඒගොල්ලන්ට කිව්වා කලබල වෙන්න එපා, මේක මම හොරෙක් කියලා නම් කරලා එයා අරන් හිරේ දාන එක නෙවෙයි වැඩේ. හොඳට පරීක්ෂණ කරන්න ඕනෙ. උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕනෙ. උසාවියට ඔප්පු කරලා හිරේ දාන්න ඕනෙ. පරීක්ෂණවලට ලොකු කාලයක් ඇදෙනවා. අපි පරීක්ෂණ කරලා තියෙනවා.
ඇත්තටම මේ අවුරුදු දෙක ගත්තොත් මේ අවුරුදු දෙකෙන් වැඩි කාලයක් කරලා තියෙන්නෙ පරීක්ෂණ. දැන් ඒ පීරියඩ් එක ඉවරයි. දැන් මොකක්ද ? අල්ලන පීරියඩ් එක. අල්ලනකොට කියනවා මොකක්ද පළිගන්නවා ලු. පළිගන්න ? මොකටද අපි පළිගන්නෙ ? අපිට කාත් එක්කවත් තරහක් නැහැ.
ඔය කාත් එක්කවත් අපිට ඉඩම් ආරවුල් නැහැ. හැබැයි අපිට නඩුවක් තියෙනවා බේරාගන්න. මේ රට මේ විනාශයට පත්කරපු දූෂිතයින්ට දඬුවම් දීමේ නඩුව තියෙනවා බේරාගන්න.
කවුරු මොනතරම් අනුකම්පා කරන්න උත්සාහ කළත් – කට්ටිය කඳුළු පෙන්නලා අනුකම්පාව දිනාගන්න – නෑ. තාත්තාට තිබ්බා පුතාලා හොරකම් කරනකොට අඬලා පුතේ එපා කියන්න. ඇල්ලුවාට පස්සෙ කඳුළු හළලා වැඩක් නැහැ.
තාත්තාට තිබුණෙ පුතා හොරකම් කරනකොට පුතේ ඔය වැඩේ කරන්න එපා කියන්න. පුතාට රිසි සේ හොරකම් කරන්න දීලා අල්ලපුවාම කඳුළු එනවා. ඕවාට අපි අහුවෙන්නෙ නෑ හොඳේ. කඳුළුවලට මේක යටපත් වෙන්න ඉඩදෙන්නෙ නැහැ.
අනුකම්පාවට මේක යටපත් වෙන්න ඉඩදෙන්නෙ නැහැ. ආච්චිටත් නීතිය එකයි, මවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා, සහෝදරයාද බාප්පොච්චිද ඔක්කෝටම එහෙමයි”







Leave a Reply