Loading...

,

දොළොස්බාගයේ අක්කර 135ක තේ වතු වංචාවක් ගැන යෝෂිත සහ රෝහිතට එරෙහිව විශේෂ විමර්ශනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකු ඉදිරියට දමා නාවලපිටිය, දොළොස්බාගය ප්‍රදේශයේ පිහිටි අක්කර 135ක තේ වතුයායක් අයිති කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර මහතා විසින් ඉකුත් අගෝස්තු 20 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මෙම විමර්ශනයට අදාළ ලේඛනගත සාක්ෂි සහිතව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම මස 14 වනදා පෙරවරු 9.00 ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දී ඇත.

‘ඔසා ප්ලාන්ටේෂන්’ (Osa Plantations – PV 61746) සමාගමට අයත් ‘කෙලී ගෲප්’ තේ වතුයායේ පිහිටි මෙම අක්කර 135ක භූමිය සහ 1918 බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලද ඓතිහාසික සුඛෝපභෝගී වතු බංගලාව, 2021 දෙසැම්බර් 11 වනදා වෙනත් පුද්ගලයින් තිදෙනෙකු නාමික අධ්‍යක්ෂවරුන් (Dummy Directors) ලෙස යොදවා සැබෑ හිමිකාරිත්වය සඟවමින් අත්පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

මෙහිදී අදාළ අංක 1386 දරන ඔප්පුව සහ අංක 787 දරන පිඹුර ඇතුළු ලේඛන විමර්ශන නිලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම CSN නාලිකාව හරහා සිදුකළ බව කියන විදේශ මුදල් විශුද්ධිකරණය සහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදවා උපයාගත් අරමුදල් මෙම දේපළ මිලදී ගැනීමට යොදවා ඇති බවට ද මොවුන් දෙදෙනාට එරෙහිව ප්‍රබල චෝදනා එල්ල වී ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *