ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරු 9.15ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, පැය කිහිපයක් පුරා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 යානා 06ක් සහ A-350 යානා 08ක් මිලට ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදලක් ලබාගත් බවට එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වුණා.
ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර, සිද්ධියේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට දැනටමත් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එමෙන්ම මෙම විමර්ශන සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයින් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුලදී මෙරටට පැමිණ ප්‍රකාශ ලබාදී තිබූ අතර, එම සියලු කරුණු පදනම් කරගනිමින් සිදුකළ විමර්ශනවලට අදාළව නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.







Leave a Reply