Loading...

මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල්දමන්න ලෙස ඉල්ලමින් නීතිඥ සංගමයෙන් විපක්ෂ නායකට ලිපියක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සිදුකර තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් නීතිඥ සංගමය ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු කළ හැකි අවස්ථාවක් උදාවන තෙක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව පෙන්වා දෙන එම සංගමය, මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

එවැනි සාකච්ඡාමය අවස්ථාවක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරන කරුණු මෙන්ම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ගැටලු පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද එහි දැක්වෙනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය ප්‍රකාශ කළ ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට උනන්දුවක් නොමැති බව පෙනී යන බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

යෝජිත සංශෝධනයට විපක්ෂය දැනටමත් සිය දැඩි විරෝධය පළ කර තිබුණද, මෙම පැහැදිලි කිරීමේ සැසිය හරහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සිය ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට මහඟු පිටිවහලක් වන්නට තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *