පලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ වීඩියෝව සහ මාධ්‍ය සාකච්ඡාව හරහා තහවුරු නොකළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පසුගිය (18) වනදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ශ්‍රී ලංකා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ වීඩියෝවේ දැක්වෙන ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් කන්නගිපුරම බටහිර, මුක්කම්පන් ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති බවයි.
කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා පැතිරවූ ප්‍රචාරය මුළුමනින්ම පදනම් විරහිත සහ අසත්‍ය එකක් බවත්, අදාළ ස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවත්ය.
තවද කිසිදු එල්.ටී.ටී.ඊ. හෝ වෙනත් අන්තවාදී සංවිධානයක සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන නොයන බවට තහවුරු වී ඇත.
කෙසේ වෙතත්, අදාළ ස්ථානය සම්බන්ධයෙන් නීතිවිරෝධී ලෙස කැලෑ එළිකිරීමක් සහ නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වනවා.







Leave a Reply