Loading...

විනිසුරු විශ්‍රාම වයස ගැන මහානාහිමිවරුන්ගේ ලිපිය පිළිබඳ දැනුවත් නැහැ – නලින්ද

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවට පළවන වාර්තා පිළිබඳ තමන් මෙතෙක් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (03) අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරුන් බැහැදැක 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු සහ එහි අන්තර්ගත කරුණු පිළිබඳ දැනුවත් කළ බවයි.

එහිදී අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සියලු අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු යෝජනා පිළිබඳව මහානාහිමිවරුන්ට කරුණු පැහැදිලි කළ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව, මෙම සංශෝධනය සම්බන්ධයෙන් මහානාහිමිවරුන් කිසිදු විරෝධයක් පළ නොකළ බවත්, එය එක් විනිසුරුවරයෙකු ඉලක්ක කරගත් පියවරක් නොව සියලු විනිසුරුවන්ට පොදුවේ බලපාන සංශෝධනයක් බව උන්වහන්සේලාට පැහැදිලි කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම, මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවද කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“මහානායක හිමිවරුන් එව්වා යැයි කියන ලිපියක් සම්බන්ධයෙන් මගේ දැනුවත්භාවයක් නෑ. ඊයේ උදේ වරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මුණගැසුණා.

ඊට පසුව දහවල් කාලයේ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණා. අපිට ඊයේ කැබිනට් මණ්ඩලය තිබුණ නිසා අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණ ගැසුණේ නෑ. අද සවස 5ට මමත් අධිකරණ ඇමතිතුමාත් අමරපුර නිකායේ මහනායක හිමිවරු මුණගැසෙනවා.

ඇත්තටම ඒ සාකච්ඡා හැම එකක්ම වගේ පැයකට ආසන්න කාලයක් තිබුණා. විශේෂයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් සමග අපි පැවැති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට යන 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතට අදාළ සංශෝධන පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේලාට අපි ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දුන්නා.

විශේෂයෙන් අපේ අරමුණ බවට පත්වෙලා තිබුණේ මේ රටේ ගොඩගැහිලා තිබෙන නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කරලා ජනතාවට සහනයක් දෙන්න. මම හිතනවා ඒක මේ රටේ කවුරුත් හිතන සත්‍යයක්.

මල්වතු මහනායක හාමුදුරුවොත් අපිට කියා සිටියා උන්වහන්සේත් අවුරුදු 20කට කාලයකට මොකක් හරි නඩු කටයුත්තකට මුහුණ දෙමින් සිටිනවා කියලා. ඉතිං හැමෝටම අවුරුදු 12-20 ආදී කාලයකට මේ නඩුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රතිසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නෑ, උන්වහන්සේලාගෙත් විරෝධයක් නෑ.

මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන්ට තිබුණ එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදුකරන එකක්ද කියන එක. අපි පැහැදිලි කළාට පස්සෙදි 22 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරිමාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස වැඩි කරන එක.

අධිකරණ සේවා පනත සංශෝධනය කිරීමෙන් දිසා අධිකරණවල ඇතුළු සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා අපි පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලාට ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ උන්වහන්සේලා ඒක පිළිගත්තා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *