Loading...

,

කැළණි කළු ගංගා ද්‍රෝණිවලට ගංවතුර නිවේදන – දිස්ත්‍රික්ක 5කට නාය යෑම් නිවේදන

කැළණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව දැනට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සමඟ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව එම කාලය තුළදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

කැළණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න වර්ෂාවක් ලැබී ඇති බව වාර්තා වනවා.

මේ අනුව එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදි ඉදිරි පැය 24 තුළ මෙම සුළු ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මඟීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලැබුවා.

මේ අතර පවතින අධික වර්ෂාව කාලගුණය තත්ත්වය සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එම නිවේදනය අද (22) පෙරවරු 6 සිට හෙට (23) වන දින පස්වරු 6 දක්වා වලංගු වන බව සඳහන්.

මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ “ඉවත් වන්න” රතු නාය යාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇගවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරන ලබන ජල මාපක දත්ත විශ්ලේෂණ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ අනුව එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මෙන්ම මඟීන්ද මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *